ආතතිය Stress සිරුරේ විවිධ වූ ඉන්ද්‍රියයන්ට බලපාන හැටි
ආතතිය හෙවත් ස්ට්‍රෙස් පෙනෙන්නේ මුහුණෙන් පමණ ද? බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මුහුණ ආතතියේ කැඩපත බවයි. සිරුර ද ආතතිය කිහිපාකාරයකින් පෙන්නුම් කරයි.
මුව කෙළවරක පැල්ම
තොලකට වන වීම ලෙස බොහෝදෙනෙකු හඳුන්වන මේ තත්ත්වයට ප්‍රධාන හේතුව විටමින් බී හය ඌන වීමයි. අනෙක් විටිමින් ඌනතා ද මේ කෙරෙහි බලපෑවත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ බී හය ඌනතාවයි.
විටමින් බී, ස්නායු පද්ධතියේ සෞඛ්‍ය සුරැකීමට අත්‍යවශ්‍යයි. මොළයේ රසායන නිපදවීමට, මානසිකත්වය වෙනස් කරන සෙරොටනින්, ඩොපමින් නිපදවීමට, නින්දට අවශ්‍ය මෙලටොනින් නිපදවීමට, විටමින් බී හය නැතිවම බැරිය.
හකු ඇඹරීම
තවත් විටමින් බී වර්ගයක් වන බී පහ ඌන වූ විට හකු ඇඹරීම වැනි ලකුණු පෙන්නුම් කරයි. බී පහ හඳුන්වා දෙන්නේ ආතතිය වළක්වන හෝර්මෝනයක් ලෙසයි.
දිගුකාලීනව ආතතිය නිසා හකු ඇඹරීම සාමාන්‍ය පුරුද්දකි. බිත්තර, නැවුම් එළවළු, ඇට වර්ග, බිම්මල්, මත්ස්‍යයෝ සතුව බී පහ විටමිනය පවතී.
නියපොතු මත සුදුලප
සින්ක් අවශ්‍ය බවට ඉඟියකි. වැඩි දෙනෙකු මෙය හඳුන්වන්නේ නියමල් ලෙසයි. කැල්සියම් ඌනතාව නිසා නියමල් ඇතිවන බවට මතයක් පැවතුණ ද ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ සින්ක් ඌනතාවයි.
සිරුරේ බොහෝ එන්සයිම වර්ග නිපදවීමට සින්ක් අවශ්‍යයි. ප්‍රතිශක්තිය ඇති කරන හොර්මෝන, ඉන්සියුලින්, ලිංගික හෝර්මෝන ඒ අතරින් ප්‍රධානයි.
සින්ක් අඩු කාලයේදී නියපොතුවල සුදු තිත් හෙවත් නියමල් ඇති වෙයි. නිර්මාංස ආහාර ගන්නා අයට සින්ක් ඌනතාවක් ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඒ ශාක ආහාරවල සින්ක් උරා ගැනීමට අපහසු නිසයි. සත්ත්ව ආහාරවල සින්ක් උරා ගැනීම පහසුය. ඒ නිසා නිර්මාංස ආහාර ගන්නා අය වෛද්‍ය උපදෙස් පරිදි පෙති වශයෙන් සින්ක් ගැනීම නුවණට හුරුය. දිනකට මිලිග්‍රෑම් 15 -20 ක පෙත්තක් ලබා ගැනීම ප්‍රමාණවත්ය. සින්ක් අඩංගු ආහාර මාළු, මස්, සූරියකාන්ත ඇට, වට්ටක්කා ඇට, චෙඩාර් චීස්.
මල බද්ධය හා ඩයරියා
මේ තත්ත්වයන්ට හේතුවන්නේ මැග්නීසියම් ඌනතාවයි. අපේ අස්ථිවල සියට හැත්තෑවක් මැග්නීසියම් ඇති අතර මෘදු පටක හා ශරීර තරලවලද සියයට තිහක් පමණ තිබේ. ආතතියට පත් සිත සන්සුන් කිරීමට ද මේ විටමිනය අවශ්‍යය.
අඩුවෙන් මැග්නීසියම් ඇති විට කාංසාව, නොසන්සුන්තාව, නින්ද නොයාම, විශාදය, මාංස පේශි වේදනාව වැනි ලකුණු ඇති වෙයි. ආහාර ජීර්ණ පද්ධතිය යහපත් ලෙස පවත්වා ගැනීමට මැග්නීසියම් අවශ්‍යය. අඩු මට්ටමකින් මැග්නීසියම් ඇතිවිට මලබද්ධය හෝ ඩයරියා ඇති වෙයි.
ඇට වර්ගවල, සෝයා බෝංචි, තද කොළ පැහැ එළවළු, කැරට්, පීස්, බතල, සූරියකාන්ත සහ තල ඇට, පරිප්පු, ගෝවා මල්, අලිගැට පේර, මාළු, මස් වැනි බොහෝ ආහාරවල මැග්නීසියම් අඩංගුය. ඌනතාවක් ඇති අයට මැග්නීසියම් සිට්රේට් වෛද්‍යවරුන් නිර්දේශ කරයි.
අත් හා කළවා ඉහළ කුරුලෑ
විටමින් ඊ සහ විටමින් ඒ අවශ්‍ය බවට ඉඟියකි. ඊ විටමිනය මේදයේ දියවන ප්‍රතිඔක්සිකාරකයකි. අත් හා කළවා ඉහළ කුරුළෑ ඇති වීමට විටමින් ඊ වගේම ඔමේගා 3 මේදය ඌන වීම ද හේතුවකි. රුධිරය කැටි ගැසීමට, රුධිර පීඩනය යහපත් ලෙස පවත්වා ගැනීමට, ශ්‍රක්‍රාණු නිෂ්පාදනය වැඩි කිරීමට විටමින් ඊ නැතිවම බැරිය.
එළවළු, තද කොළ පලා එළවළු, ඇට වර්ග, ධාන්‍ය, රතු කැකුළු, බිත්තර, කිරි, ඕට්මීල්, සෝයා බෝංචි, බතල ඊ විටමින් සාර ආහාරයි.
නිතර ඇතිවන උගුරේ සහ පපුවේ ආසාදන
“ඒ” විටමිනයේ අවශ්‍යතාව අඟවයි. සමේ, ස්වසන පද්ධතියේ, උදර ආන්ත්‍රික ප්‍රදේශයේ, මුත්‍රා මාර්ගයේ ආසාදනවල “ඒ” විටමින් හිඟකම බලපායි. විටමින් “ඒ” ගබඩා වීමට “සින්ක්” ද සිරුරට අවශ්‍ය තරම් ලබාගත යුතුයි. සත්ත්ව අක්මා, මාළු තෙල්, දොඩම්, කහ පැහැති එළවළු පලතුරු, කැරට්, ගස්ලබු, වට්ටක්කා, නිවිති ආදියෙහි ඇති තරම් “ඒ” විටමින් අඩංගුය.
විදුරුමස්වලින් රුධිරය වහනය වීම
සිරුරේ පරිවෘත්තිය ක්‍රියා තුන්සියයකටවත් විටමින් “සී” ප්‍රතිඔක්සිකාරකය අවශ්‍යය. එය ආතතිය වළක්වන හෝර්මෝන, ශරීර පටක නිෂ්පාදනයට අවශ්‍ය කොලජන් නිපදවීම ආදී බොහෝ කටයුතු මෙමඟින් සිදු කරයි. තුවාලයක් සිදු වූ විට නොනවත්වා රුධිරය ගලන්නේ විටමින් සී ඌන වී පටක අලුත්වැඩියාව නිසිලෙස සිදු කිරීමට නොහැකි වූ විටයි.
ලූණු, ගස්ලබු, පැඟිරි කුලයේ පලතුරු, ස්ටේරීබෙරි, අඹ, නිවිති, තක්කාලි, ගෝවා, ගී‍්‍රන්පීස්, ගම්මිරිස්, අර්තාපල් කොළ පැහැ එළවළු ධාන්‍ය, රාබු හා ඇටවර්ගවල ද විටමින් සී යහමින් අඩංගුය.
විටමින් සී ඌනතාව අඩුවෙන් ඇති විට දත් මදින විට විදුරුමස් ඉදිමීම, විදුරු මස්වලින් ලේ ගැලීම වැනි ලකුණු ඇතිවෙයි. මෙවිට කඩිනමින් විටමින් “සී” අඩංගු ආහාර ගත යුතුයි. දුම්වැටි, මත්පැන්, උපත් පාලන පෙති, ස්ටීරොයිඩ, විශාදයට ඔසු ගන්නා විට විටමින් සී ඌනතාවක් ඇති වීමේ ඉඩකඩ වැඩිය.
“සී” විටමින් ඌනතාවක් ඇති වූ විට ආසාදනවලට නිරන්තරයෙන් ගොදුරු වෙයි. ඒ වාගේම රෝග සුව වීමට ද කල්ගත වෙයි.
Comments
Post a Comment