ශ්‍රවණාබාධිත දරුවාට යහපත් සමාජ ආචාරධර්ම ඉගැන්වීම ඉතා වැදගත්



ඔබ අසා තිබෙනවාද වී කරලක් කිරි වැදී පැසෙන විට එය තව තවත් පොළොවට බර වී යන බව මිනිස් ජීවිතය ඒ අයුරින්ම දැනුමෙන් අත්දැකීමෙන්, බුද්ධිමත් බවින් බරව යන විට වී කරල පොළොවට නැමෙන්නාක් මෙන් නම්‍යශීලි, මෙන්ම නිහතමානී විය යුතු යැයි සමාජයේ බොහෝදෙනා පිළිගත් සත්‍යයක්. නමුත් ඇතැම්විට අවාසනාවකට වගේ බොහෝ පිරිසක් එසේ හැසිරෙන්නේ නැහැ.

වර්තමානය වනවිට නම් එවැනි පිරිස් සොයාගත හැක්කේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් කිසිවිටෙකත් ජිවිතයේ දිනෙන් දින දියුණුවට පත් වනවිට තමාගේ ජීවිතය ජය ගැනීමට දායක වූ තමා පසුපස සිට තමාට ශක්තියක් වූ කිසිවෙකු කිසිවිටෙකත් අමතක නොකිරීමට ද කටයුතු කරනවා. කෙසේ වෙතත් මෙවැනි හැසිරීම් රටාවන් අපගේ සමාජයේ යහපත් හැසිරීම් රටාවන් ලෙස අර්ථකථනය කර දක්වනවා පමණක් නොවේ. එකිනෙකා අතර සුහදතාව වර්ධනය කර ගැනීමට එසේත් නැත්නම් එකිනෙකාට ගෞරව කිරීමට එක සේ උපකාරී වන බවට නම් කිසිදු සැකයක් ඇත්තේ නැහැ. නමුත් ඕනෑම පුද්ගලයෙකු සතුව මෙවන් යහපත් ගති ගුණාංග තිබෙනවාද? නැද්ද?

යන්න තීරණය වන්නේ ඔවුන් කුඩා කලසිට ඇති දැඩි වූ පාරිසරික වටපිටාව අනුවය. විශේෂයෙන් මේ පිළිබඳ කථාබහ කිරීමේදී පාසැල වැදගත් ස්ථානයක් හිමි කරගනු ලැබේ. දෙමාපියන් වශයෙන් වැඩිහිටියන් වශයෙන් පමණක් නොවේ ගුරුවරුන් වශයෙන් පවා යහපත් ආචාර ධර්ම දරුවෙකුට අවබෝධ කර දීම ඉතා වැදගත් කාර්යයක් වශයෙන් සැලකිය යුතු වේ. ඒ පමණක් නොවෙයි ඔවුන්ට යහපත් ආචාරධර්ම පද්ධතියක් තිබීම ඉදිරි ජිවිතයේදී යහපත් අනාගතයකට පාර කියා දේවි.

ඉහත සඳහන් සෑම කරුණකම සත්‍යයක් ගැබ් වී තිබුණ ද අපගේ දරුවන් අතුරින් ඇතැම් පිරිසකට මේවා පිළිබඳ අවබෝධය ලබා දීමට යාමේදී අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වේවි. ඒ අන් කිසිවක් පිළිබඳව නොවේ. ඔවුන්ට ශාරීරික වශයෙන් මුහුණ දීමට සිදු වී ඇති අභියෝගයන් නිසාය. සිතා බලන්න දරුවන්ට අපි කෙතරම් යහපත් දේ ඉගැන්වීමට උත්සාහ කළත් ඔවුන් කායික වශයෙන් ඊට සූදානමක් නැත්නම් අවම වශයෙන් තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ඇතිවන ගැටලු පිළිබඳ පවා සන්නිවේදනය කර ගැනීමට අපොහොසත් විය හැකියි. නමුත් මේ වනවිට ලොව තුළ දිනෙන් දින අලුත්වන තාක්ෂණය තවදුරටත් ඔවුන්ව ජීවිත තුළ කොටු කර තැබීමට ඉඩ නොදී සමාජයේ උසස් මට්ටම් කරා ඔසවා තැබීමට උපකාරී වේවි.

සාමාන්‍ය දරුවන්ට මෙන්ම ශ්‍රවණාබාධ, පෙනීමේ ගැටලු, කථන හැකියාවන් නොමැති දරුවන්ට ද මේ ලෝකයේ සතුට හිමි වනවා වගේම සමාජය තුළ යහපත් පුද්ගලයෙකු ගුණ ගරුක පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව ද ඔවුන් හිමි කරගත යුතුයි. එහිදී ආචාර ධර්ම පිළිබඳ ඉගෙන ගැනීම ඉතා වැදගත් වනවා වගේම ඒ හරහා ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුන්ට ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. භාෂා භාවිතය නිවැරදිව පුරුදු පුහුණු කරනවා හා සමානවම ඔවුන්ට මෙවැනි සමාජයේ යහපැවැත්මට එකිනෙකා අතර සුහදතාව වර්ධනය කර ගත හැකි ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් ලබාදීම ඉතාම වැදගත් කාර්යයක් වශයෙන් සැලකිය හැකි වේ.

Comments