අපේ නිවහන අපව ලෙඩකරවන හැටි



ලොවේ කොතැන ගියත් සිතට සැනසීමක් එන්නේ, හදවත සැහැල්ලු වන්නේ තමන්ගේ නිවහනට පැමිණි විටයි. පැල්පතක් වුවත් තම නිවහන ඕනෑම කෙනෙකුට රජ මැදුරකි. නිවහන කෙනෙකුගේ ශරීර සෞඛ්‍යයට මොන තරම් බලපානවද? රාත්‍රියේ දීප්තිමත් ආලෝකය, ස්වභාවික නින්දට මහා බාධකයකි. ශාරීරික ක්‍රියාකාරීත්වයට, හෝර්මෝන නිෂ්පාදනයට නිවෙස කරන බලපෑම සුළු පටු නොවෙයි. තරබාරුකම, දෙවැනි වර්ගයේ දියවැඩියාව, පිළිකා වැනි තත්ත්වයන්ට පවා නිවෙස හේතුවෙයි. පිළිකා පිළිබඳ පර්යේෂකයකු වන වෛද්‍ය රිචඩ් ස්ටීවන්ස් පවසන්නේ ආලෝකය අපේ මනසට බලපාන බවයි. ඔහු පවසන අන්දමට සැඳෑවට වඩාත් සුදුසු “ඩිම්” ආලෝකය සහ රතු පැහැයට හුරු ආලෝකයයි. එයින් සිරුරේ ජීව විද්‍යාත්මක ඔරලෝසුවට ඇතිවන බාධාවන් අඩු වෙයි. මේ, නිවෙස සෞඛ්‍යයට කරන බලපෑමයි.
ආතතිය ද? බිත්තියේ වර්ණය ද වගකිව යුතුයි
තැඹිලි සහ රතු ආතතිය වැඩි කරන වර්ණයි. ඒ වාගේම කාංසාව ද වැඩි කරයි. සම කැසීමට ද එය හේතුවකි. දීප්තිමත් වර්ණ මොළය උත්තේජනය කර කෑමට ඇති කැමැත්ත වැඩි කරයි. දීප්තිමත් සුදු පැහැ මුළුතැන්ගෙය ද කෑමට ඇති උත්තේජනය ද දෙගුණ තෙගුණ කරන බව පැවසෙයි. නිදන කාමරවලට හොඳම නිල් පැහැයයි. නිල් පැහැ නිදන කාමර බිත්ති යුවළකගේ රාත්‍රිය වඩාත් ආදරණීය කරයි. බේජ්, අළු වැනි පැහැ යුග දිවිය උදාසීන කරන බව හෙළි වී ඇත. බිත්තිය නිල් පැහැයෙන් ඇති විට වැඩි කාලවේලාවක් නිදා ගැනීමට ද පෙලඹෙයි.
තදබදය ඇති මාවත් නිසා හදවතට හානි
නිවසේ අධික ජනගහනයක් සිටීම නිසා ඇතිවන ඝෝෂාකාරී පරිසරය, වාහන ශබ්ද, ඝෝෂාකාරී අසල්වැසියන්, තදබදය ඇති මං මාවත් මඟ පාදන්නේ අධික රුධිර පීඩනය, හදවත් රෝග ආදියටයි. ඩෙසිබල් 35ට වැඩි හඬ (අධික වේගයෙන් යන කාර් එකක හඬ) රුධිර පීඩනය ඉහළ නංවයි. නිදා සිටියදී පවා රුධිර පීඩනය ඉහළ යයි.
ශබ්දය, සිතට කරදරකාරී කෙනෙකුට ප්‍රතිඵල අතිභයානකයි. එවිට ආතතිය ද වැඩි වෙයි. අඩු වැඩිවවන හඬ (සිහින් හඬේ සිට උස් හඬ), ප්‍රකෝකාරී අසල්වැසියන් වඩාත් හානිකරය.
හොඳ අසල්වැසියන් සම්පතක්
අසල්වැසියන් හොඳින් ඇසුරු කරන්නන් හදවත් රෝගවලට ගොදුරු වීම අඩුය. එනම් යහපත් අසල්වැසියන් ඇත්නම් හදවත රෝගී වන්නේ අඩුවෙනි. නරක අසල්වැසියන් හදවත් රෝග වැඩි කරයි. රුධිර පීඩනය වැඩි කරයි. එපමණක් නොව ආතතිය ඇති කරන කෝටිසෝල් හෝර්මෝන මට්ටම ද එමඟින් ඉහළ යයි. යහපත් අසල්වැසියා කායිකවත් මානසිකවත් උදව් වන්නෙකි. ඒ නිසා ආතතිය අඩු වෙයි.
ඝන තිර රෙදි සිරුර සිහින් කරය
තුනී තිරරෙදි, මාවත් පහන් කෙනෙකු තරබාරු කිරීමේ අවදානම වැඩි කරන සාධකය. අඳුරේ නිදා ගන්නන්ට වඩා ආලෝකය ඇතිව නිදා ගන්නා විට කෙනෙකු වඩාත් තරබාරු වෙයි. ආලෝකය අපේ සිරුරේ ජීව ඔරලෝසුවට බාධාවකි. පරිවෘත්තීයට බාධාවකි.
රූපවාහිනිය විශාල ද? සෝෆාව වෙනස් කරගන්න
රූපවාහිනිය බලන දුර රූපවාහිනී තිරයේ පළල අනුව 1.5 ගුණයකින් වැඩි විය යුතුය. අඟල් 32ක් පළල තිරයක් ඇති රූපවාහිනිය නැරැඹිය යුත්තේ අඩි 4ක් හෝ සෙ.මි.120ක් දුරිනි.
රූපවාහිනිය පමණට වඩා ලංවී බැලීමෙන් ඇස්වල විඩාබර ස්වභාවය වැඩි වේ. හිසරදය සෑදෙයි.
දුර වගේම ආලෝකය ද වැදගත්ය. රූපවාහිනියේ ආලෝකයට වඩා පරිසරයේ ආලෝකය අඳුරු වූ විට ඇස් විඩාබර වෙයි.
නරක තැනින් දුරස් වන්න
මත්පැන් අලෙවිසැල්වලට කිලෝමීටරයක් දුරින් ජීවත් වන්නන් මත්පැනට වඩාත් ඇබ්බැහි වන බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. ඇසට පෙනෙන්නට මත්පැන් බඳුන් තැබීමත් මත්පැන් පානයට ඇති කැමැත්ත උත්තේජනය කරයි.
තුරු වදුලක අසිරිය
මාවතේ තුරුලිය ඇත්නම් විෂාදය ඇති නොවෙයි. මනස සන්සුන් වේ. ප්‍රබෝධවත් වේ. නිවෙසේ ගස් වගා කළත් මේ ප්‍රතිඵලම ලැබේ. කාංසාව දුරු කිරීමට ද තුරුලිය හේතු වේ.
පයිප්ප වතුරෙන් සමට කරදර
පයිප්ප වතුර සමට අසාත්මිකයි. එග්සීමා වැනි චර්ම රෝග තත්ත්ව උත්සන්න වෙයි. හදවත් හා අක්මා රෝග අවදානම ද වැඩි කරයි.
ඇතුළු වන දොරත් වැදගත්
නිවෙසට මුළුතැන්ගෙයි දොරින් ඇතුළු වීම නම් සුදුසු නැත. එවිට තරබාරු වීමේ වැඩි ඉඩක් ඇති නිසයි. මුළුතැන්ගෙයින් ඇතුළු වනවිට කෑමට ඇති උනන්දුව වැඩි වෙයි.
ඇඳුම් ඇතුලේ වියළන්න එපා
නිවෙස තුළ ඇඳුම් වේලීමෙන් පරිසරයට තෙතමනය වාෂ්ප වෙයි. පරිසරය තෙත සහිත වීම ස්වසන ආබාධ, ආසාදන වැඩි කරයි, ඇදුම, කැස්ස වැනි තත්ත්ව උග්‍ර වෙයි.

Comments