පුංචි දරුවන් මේ ලෝකෙට බිහි කරලා “අම්මා” “තාත්තා” කියන උත්තරීතර පදවියෙන් පිදුම් ලබන්න කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවාද? ස්වභාදහමෙන් අපට දෙන දායාදය දෝතින්ම තුරුළු කරගෙන සතුටින් පිළිගන්න බලාගෙන ඉන්න වැඩිහිටියෝ අතරේ අසතුටින් අකමැත්තෙන් මේ පුංචි ජීවියා ප්‍රතික්ෂේප කරන්න සැලසුම් කරන වැඩිහිටියෝ අපි අතරේ කොයිතරම් නම් ඉන්නවාද?
“ගබ්සාවක්” යන වචනය ඇසෙන විටක ඕනෑම අයෙකුගේ සිතට නැඟෙන්නේ නීතියට පටහැනිව හොර රහසේ කරනු ලබන නින්දිත ක්‍රියාවක් ලෙසය. එහෙත්, ගබ්සාවක් ස්වභාවිකව ද සිදුවන බව තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද මහතායි.
මේ ස්වභාවික ලෝකේ සෑම සංසිද්ධියක්ම සිද්ධ වෙන්නේ සොබා දහමට අනුවයි. මොනතරම් සරුඵල තියෙන ගසක වුණත් ඇට්ටි බිම හැලෙනවා. හොඳටම සරුව පෝෂණය ලබපු ගෙඩි විතරයි සරුවට වැඩෙන්නේ.
මිනිස් උප්පත්තියත් ඒ වගේ. කොයිතරම් කලල ගර්භාෂ තුළ වැඩුණත් ඒවා සරුවට වර්ධනය වන්නේ අඩු පාඩුවක් නැති නම් පමණය. අපේ නාසයට විෂ බීජයක් ඇතුළු වුණොත් නොනවත්වාම කිවිසුම් යනවා. ඇඟට නොගැලපෙන දිරවන්න අපහසු විෂ කැමක් ඇඟට වැටුණොත් අමාශය පවිත්‍ර වනතුරුම බඩඑළිය යනවා.
ස්වභාවික ගබ්සා වීමක් ඒ වගේ දෝෂ සහිතව හැඳුන කලල ඉබේම ගර්භාෂයෙන් ඉවතට යනවා. සොබාදහම ඉතිරි කරගන්නේ හොඳ කලල පමණයි.
ස්වභාවික ගබ්සා වීම් සංඛ්‍යාත්මකව ගණනය කර බැලුවොත් ගැබ් ගැනීම්වලට සාපේක්ෂව ස්වභාවයෙන් ගබ්සා වීම් වැඩි බව තහවුරු වේවි. බොහෝ අවස්ථාවල කාන්තාවන් නොදැනුවත්වම ගබ්සා වීම් සිද්ධ වෙලා තියෙනවා. එලෙස ස්වභාවයෙන්ම ගබ්සා වීමට බලපාන හේතු රැසක් තිබෙනවා.
මාතෘ රෝග
මවගේ ගර්භාෂයේ විවිධ රෝග තත්ත්ව
දිගින් දිගටම ගබ්සා වීම
ජානමය රෝග තත්ත්ව
මෙම තත්ත්වයන් පිළිබඳව වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීම අතිශය වැදගත් වරකට දෙවරකට වඩා වැඩියෙන් ස්වභාවික ගබ්සා වීම් සිදුවන්නේ නම්, වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර ගැනීම වැදගත්.
තරුණ කාලේදී විවිධ හේතුමත හොර රහසේ කලල විනාශ කර ගන්නට නීතිමය රාමුවෙන් පිටතදී ගබ්සා කර ගැනීමක් කරගතහොත් එහි අතුරු ඵල ලෙස ගැබ්ගෙල හානිවීමක් සිදුවීමට තිබෙන ඉඩ වැඩියි. යම් හෙයකින් ගැබ් ගෙල හානි වුවහොත්, දරුවා රඳවා ගැනීමට අපහසුයි. එවිට සිදුවන්නේ ස්වභාවිකවම ගබ්සා වීමයි.
තෛරොයිඩ් වැනි අන්තරාසර්ග රෝග තත්ත්වයන් ඇති කාන්තාවන්ට කලල රඳවා ගැනීමට ඇති හැකියාව අවමයි. දියවැඩියාව වැනි රෝග තත්ත්වයේදී ගබ්සා වීමක් සිද්ධ වෙන්නේ නෑ. විෂ සහිත හෝ රසායනික ප්‍රතිශතය වැඩි ඖෂධ පාවිච්චිය වැඩි කාන්තාවන්ට ගබ්සාවීමට ඇති ඉඩකඩ වැඩියි. හෙරෝයින්, අරක්කු, සිගරට් හෝ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීමට ලොකු ඉඩක් තිබෙනවා. මෙහි බරපතලම තත්ත්වය මෙවැනි කාන්තාවන් නිතර නිතර දිගුකාලීනව ගබ්සා වීමට ඉඩකඩක් පැවතීමයි. ගබ්සාවීම පිළිබඳව කාන්තා වැඩිහිටියන් අතරේ වැරදි මත විශ්වාස පවතිනවා. මේවා බැහැර කර ගැනීම නීරෝගී සෞඛ්‍යයකට වගේම යහපත් දරුවන් බිහි කිරීමටත් අතිශයින් ඉවහල් වෙනවා.
ගර්භණී කාලයේදී ලිංගික සම්බන්ධයක් පැවැත් වූ විට ගබ්සා වීමක් සිද්ධ වන්නේ නෑ. කාගේවත් ඇස්වහ කටවහ නිසා ගබ්සා වීමක් වන්නේත් නැහැ. වෙහෙස වුණාය කියා හෝ බියක් ඇති වූ නිසා ගබ්සා වන්නේත් නැහැ. මේ නිසා අනිසි තැවුලක් ඇති කරගත යුතු වන්නේ තමන්ට දිගින් දිගටම ගබ්සා වීමක් සිද්ධ වන්නේ නම් පමණයි.
මවට ඇති වී තිබෙන තත්ත්වය හඳුනාගත හොත් එය නිවැරදි කරගත හැකියි. ඒ නිසා හොඳම දෙය වෛද්‍ය පරික්ෂාවකට ලක් වීමයි. නවීන වෛද්‍ය තාක්ෂණික ක්‍රම වත්මන් ප්‍රතිකාර සමඟ එකතු වී තිබෙන නිසා කිසිවෙක් බිය විය යුතු නැහැ. නමුත්, තමන්ගේ හිතුමනාපයට ගබ්සාවක් සිදු කර ගන්නා කාන්තාවන් තමන්ගේ අනාගතය ගැන බිය විය යුතුයි.
Comments
Post a Comment