ගොවිපළේ සිට බත් පිඟාන දක්වා අපේ ආහාර සුරක්ෂිතද?

මිනිසා සොබාදහමේ අද්විතීයම නිර්මාණයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මන්ද මුළු පොළොවේම පාලනය ඔහු යටතේ වන බැවිනි. මිනිසා එතරම්ම සුවිශේෂී කෙනෙකු බවට පත්වත්දී, ඔහුගේ ආහාර රටාව ද සුවිශේෂි අයුරින් සැකසී තිබීම විස්මිතය. මිනිසාගේ ආහාරයට ඇතුළත් නොවන්නේ මොනවාද? ඇට, මල්, මුල්, කොළ, සත්ත්ව මාංස ආදී සියලු කොටස් මිනිසාගේ ආහාරයට නතුය. මෙතරම් පැතිරුණු ආහාර රටාවක් හිමි මිනිසාට අද මතු වී ඇති ප්‍රබලම තර්ජනය නම් එම ආහාර විවිධාකාරයෙන් දූෂණයට ලක් වීමයි. මිනිසා අන් සියලු කාරණාවන් හි සමතකු වත්දී ඔහුගේ ආහාර පිඟාන සෞඛ්‍ය සම්පන්න නොවීම එක් අතකින් මිනිසාගේ පරාජයකි.
මේ බරපතළ ගැටලුව හමුවේ අද අපට සුරක්ෂිත ආහාර වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරමින් මනා සැලකිල්ලෙන් එය යළි නිවැරදි කර ගැනීමට සිදු වී ඇත. 2015 ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වනුයේ ආහාර සුරක්ෂිතතාවයි. ගොවිපළේ සිට ආහාර, අපේ පිඟානට පැමිණෙන තෙක් වන ක්‍රියාවලියේදී ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම ප්‍රමිතීන් පිළිබඳව අපට විය හැකි මැදිහත් වීම් ඉතාම සීමිතය. නමුත් අපට කළ හැකි දේද බොහෝ ඇත. “සුරක්ෂිත ආහාර සඳහා පිළිවෙත් පහක්” නමින් හඳුන්වා දී තිබෙන මඟපෙන්වීම සුරක්ෂිත ආහාර වේලක් සඳහා අප එකිනෙකාට පුද්ගලිකව සිදු කළ හැකි මැදිහත් වීම්ය. ඒවා මෙසේය.
සුරක්ෂිත අමු ද්‍රව්‍ය හා ජලය භාවිතය
ආහාර පිළියෙල කිරීමේදී හැමවිටම පිරිසිදු ජලය භාවිතා කරන්න.
නැවුම් හා පලුදු නොවූ ආහාර තෝරාගන්න.
පාස්චරීකරණය කළ කිරි වැනි සුරක්ෂිත බව තහවුරු කිරීම ඉලක්ක කර ඇති ආහාර හැකි සෑමවිටකම තෝරාගන්න.
විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගැනීමේදී පලතුරු හා එළවළු හොඳින් සෝදා කෑමට ගන්න.
කල් ඉකුත් වූ ආහාර භාවිතයට ගැනීමෙන් වළකින්න.
ඒ ඇයි?
ආහාර පිළියෙල කිරීමට ගන්නා අමුද්‍රව්‍ය (ජලය හා අයිස් ඇතුළුව) රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් හා රසායන ද්‍රව්‍ය මඟින් දූෂණය වී තිබිය හැක. තවද පළුදු වූ හෝ පුස් බැඳුණු ආහාර ද්‍රව්‍යවල විෂ සහිත රසායනික සංයෝග සෑදීමේ හැකියාවක් සහිත බැවින් එවැනි ආහාර තෝරා ගන්නා හැමවිටම සැලකිලිමත් වන්න.
ආහාර හොඳින් සේදීම හා පොතු හැරීම වැනි සරල ක්‍රම මඟින් ඒවායේ අවදානම අඩු කරගත හැක.
පිරිසිදුකම
ආහාර ඇල්ලීමට හෝ පිළියෙල කිරීමට පෙර හා ආහාර පිළියෙල කරන අතරතුර විටින් විට ඔබේ අත් හොඳින් සෝදා ගන්න.
වැසිකිලි යාමෙන් පසු ඔබගේ අත් හොඳින් සෝදාගන්න.
ආහාර පිළියෙල කිරීමේදි භාවිතා කරන උපකරණ භාජන ස්ථාන සෝදා පවිත්‍ර කරගන්න.
මුළුතැන්ගෙය කෘමි සතුන්ගෙන්, පළිබෝධයන්ගෙන් හා අනෙක් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න.
ඒ ඇයි?
සමහර රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් පසේ, ජලයේ සතුන්ගේ හා මිනිසුන්ගේ ශරීර මතුපිට දක්නට හැක. ආහාර පිළියෙල කිරීමේදී එවැනි ක්ෂුද්‍ර ජීවීන් අත් මඟින්, අත් පිස්නා හා භාජන මඟින් යම් පමණකට හෝ ආහාරවලට මුසුවිය හැක. එමඟින් ඔබ ආහාර මඟින් වැළඳෙන රෝග ගණනාවකට ගොදුරු විය හැක.
පිසූ හා නොපිසූ ආහාර වෙන් වෙන්ව තබා ගැනීම
නොපිසූ මස්, මාළු අනෙක් පිසූ හා අමු ආහාරවලින් වෙන් කර තබන්න.
නොපිසූ ආහාර ද්‍රව්‍ය සේදීමට හා පිළියෙල කිරීම සඳහා යොදා ගත් භාජන, පිහි, කපන ලෑලි පිසූ ආහාර තැබීම සඳහා භාවිත නොකරන්න.
පිළියෙල කරගත් ආහාර හා නොපිසූ ආහාර එකිනෙක හා මුසුවීම වැළැක්වීම සඳහා වෙන වෙනම බඳුන්වල දමා ගබඩා කර තබන්න.
ඒ ඇයි?
ආහාර පිළියෙල කිරීමේදී හා ගබඩා කිරීමේදී මස් හා මාළු වැනි නොපිසූ ආහාර හා ඒවායේ ඉස්ම සමඟ ඉතා අනතුරුදායක ක්ෂුද්‍රජීවින් තිබිය හැකි අතර එවැනි ක්ෂුද්‍ර ජීවීන් අනෙකුත් ආහාරවලට එකතුවිය හැක. (පිසීමේදී මෙම ක්ෂුද්‍ර ජීවීන් විනාශ වේ)
ආරක්ෂාකාරී උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ඔබේ ආහාර තබන්න
පිසූ ආහාර පැය 2කට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ආහාරයට නොගන්න.
සියලුම ආහාර හා ඉක්මනින් නරක් වන ආහාර හැකි ඉක්මනින් ශීතකරණයක තබන්න. සෙල්සියස් අංශක 5ට අඩු උෂ්ණත්වයක් වඩාත් සුදුසු වේ.
පිසූ ආහාර පරිභෝජනය කරන තුරු උණුසුම්ව (සෙල්සියස් අංශක 60 කට වඩා) තබන්න. ශීතකරණයේ වුවද දිගුකාලයක් ආහාර ගබඩා කර තැබීමෙන් වළකින්න.
අධි ශීත කළ ආහාර කාමර උෂ්ණත්වයේදී අයිස් දියවීමට ඉඩ නොහරින්න.
ඒ ඇයි?
කාමර උෂ්ණත්වයේ ආහාර ගබඩා කර තැබීමේදී ඒවායේ ඇති ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය ඉතා සීඝ්‍රයෙන් සිදුවිය හැක. සෙල්සියස් අංශක 5 ට වඩා අඩු හෝ සෙල්සියස් අංශක 60 වඩා වැඩි කාමර උෂ්ණත්වයේදී බොහෝ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය අවම වීමක් හෝ නතර වීමක් සිදු වේ.
ආහාර හොඳින් පිසගන්න
විශේෂයෙන් මස්, බිත්තර, මාළු යන ආහාර ද්‍රව්‍ය හොඳින් පිසගන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 ඉක්ම වූ බව සනාථ කර ගැනීමට සුප් හා ස්ටූ වැනි ආහාර පිසින විට හොඳින් නටවා ගන්න. පිසු මස් වර්ගවල ඉස්ම රෝස පාට නොව අවර්ණ විය යුතුය. හැකියාවක් ඇත්නම් මේ සඳහා
උෂ්ණත්වමානයක් භාවිතා කල හැකි නම් එය වඩාත් සුදුසු වේ. පිසූ ආහාර නැවත භාවිතයට ගැනීමට පෙර හොඳින් රත් කරගන්න.
ඒ ඇයි?
ආහාර හොඳින් පිසීම මඟින් බොහොමයක් අනතුරුකාරී ක්ෂුද්‍රජීවීන් විනාශ වන අතර සෙල්සියස් අංශක 70 ක උෂ්ණත්වයක් දක්වා පිසීම මඟින් ආහාරයට ගැනීමට වඩාත් සුදුසු තත්ත්වයට පත් කළ හැක. නමුත් අඹරන ලද මස්, රෝස්ට් කළ මස්, සම්පූර්ණ කුකුළන් ආදිය පරිභෝජනය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය.

Comments