දරුවන්ගේ අනාගතය විසඳීමේදී දරුවන්ගේ කැමැත්තටත් ඉඩදෙන්න

සුගන්දිගෙ වයස දැන් අවුරුදු 18ක් වෙනවා. එයා එකවරක් උසස් පෙළ කරල විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වූ නිසා නැවතත් ඉගෙනීම ආරම්භ කළා. එයාගෙ අම්ම හැමදාම කිව්වෙ එයාට දොස්තර නෝන කෙනෙක් වෙන්න කියල. සමහරවිට අම්ම ගෙදරට ආවමත් කියන්නේ අපේ දුව දොස්තර නෝන කෙනෙක් වෙන්න ඉගෙන ගන්නව කියල. සුගන්දි අදක්ෂ ළමයෙකුත් නෙවෙයි.

ඒත් බලාපොරොත්තු වුණ තරම් ප්‍රතිඵල ලැබුනෙ නැහැ. ප්‍රතිඵල ආපු දවසෙ අම්ම එයාට බැන්නා. අපරාදේ “මම උඔ වෙනුවෙන් වෙච්ච මහන්සිය කියලත් කීව. සුගන්දි දවස් දෙක තුනක් කෑවෙත් නැහැ. තාත්ත තමයි ළඟට ඇවිත් බත් කැව්වෙ. තාත්ත නම් ළමයින්ට ඉගෙන ගන්න ලොකු බලපෑමක් කළේ නැහැ. ඒත් සුගන්දිට හරි ආදරෙයි. සුගන්දිත් තාත්තට ආදරෙයි.

කොහොම වුණත් අවසානෙ සුගන්දි කිව්ව මම අයෙමත් විභාගෙ කරන්නම් කියල. ඇය නැවතත් පංති පන්න පටන් ගත්තා. ඒ වුනත් ඉස්සර වගේ උනන්දුවක් නැහැ. කාටවත් වැඩිය කතා කරන්නෙත් නැහැ. දැන් එයාගෙ පරණ යාළුවොත් වැඩිය එන්නෙ යන්නෙ නැහැ. එයාට හිතෙන්නෙ එයා තනිවෙලා වගේ. පාඩම් කරන්න ගියත් ඔහේ බලාගෙන ඉන්නව. සමහරවිට කොළ කෑලිවල කුරුටු ගෑව ඒවා තමයි ගොඩක් තියෙන්නෙ. එයා ඉන්නෙ මොනව කරන්නද කියල හිතාගන්න බැරිව. සුගන්දි වගේ බොහෝ තරුණ ගැහැණු පිරිමි ළමයි අපට නිතරම මුණ ගැසෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි.

බොහෝවිට ළමයි ඉගෙන ගන්න කාලේ ඒ අය ගැන තීරණ ගන්නෙ දෙමාපියන්. ළමයින්ගෙ අදහස් විමසන්න කවුරුවත් මහන්සි වෙන්නෙ නැහැ. සමහරවිට අම්ම තාත්ත බලාපොරොත්තු වෙන දේවල් ළමයින්ගෙන් කරගන්න හිතනව වෙන්නත් පුළුවන්. ඒ නිසාම විභාගයට මුහුණ දෙන බොහෝ ළමයින් අනවශ්‍ය පීඩනයකට ලක් වෙනව. අවසානයේදී ඒ අය බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබුනේ නැතිනම් ඉච්චාභංගත්වයට පත් වෙනව. සමහරවිට සමාජයට මුහුණ දෙන්න බැරිව කොන් වෙන්න උත්සාහ කරනව. සමහර අය ඊටත් වඩා බරපතළ තීරණවලට යන්නත් පුළුවන්. ඒ නිසා දෙමාපියන් විශේෂයෙන්ම දරුවන්ගේ කැමැත්ත අකමැත්ත ගැන දැනගැනීම අවශ්‍යයයි. ඒ වගේම ඒ අයගේ දක්ෂකම් අදක්ෂකම් ගැනත් දැනගන්න ඕනේ. සමහරවිට අදක්ෂ ළමයෙකුගෙන් ගොඩක් ඉහළ බලාපොරොත්තු තියා ගත්තොත් ඒවා ඉටු නොවෙන්නත් පුළුවන්. ඒ වගේමයි හැම කෙනෙකුටම තමන් බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න බැහැ.

ළමයින්ගේ දක්ෂකම් අදක්ෂකම් හැකියාවන් ගැන හිතල සහ ඒ අයගේ කැමැත්ත අකමැත්ත ගැන හිතල ඒ අයගේ අනාගතය සැලසුම් කිරීම වඩා හොඳයි. ඒ එක්කම ජීවිතයේ අනාගත අරමුණු කීපයක් තිබීම වැදගත්. එක බලාපොරොත්තුවක් ඉටු කරගන්න බැරි වුණොත් අනෙක් අරමුණට ළඟා වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගෙ අරමුණු වෙනස් පැත්තකට හරවන්නත් පුළුවන්. විභාගයත් අසමත් නම් හෝ තමා බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණොත් ඒ වගේ වේලාවක ඒ අය ළඟින්ම ඉන්න ඕනෙ. හිත සනසගන්න ඊළඟට කරන දේ සැලසුම් කරන්න හිතට ශක්තියක් දෙන්න මේ සැම දෙයක්ම දෙමාපියන්ගෙන් ලැබෙන්න ඕනේ. ඒ වගේම ඒ අයට ටික දවසක් ඕනෙ නැවත ප්‍රකෘති තත්ත්වයට එන්න. දරුවන්ට ඕනෑවට වඩා බලපෑම් කිරීමත් පීඩනයට පත් කිරීමත් එතරම් සුදුසු නැහැ.

ලෝකය ගොඩක් ලොකුයි. ඒ වගේම අපට යන්න හැකි ඉසව් ගොඩක් තියෙනවා. ළමයින්ට තමාගෙ අනාගතය ගොඩනඟා ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. තමුන්ට හැකි තැන හිමි ස්ථානය සොයා ගැනීම වැදගත්. ඒ සඳහා ඔවුන්ට ශක්තිය ලබා දීම වැඩිහිටි අපි සැමගේම වගකීමක්!

Comments